මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Thursday, April 5, 2012

අනංග වාදය


 මේක ඉතාමත් රසවත්, සත්‍ය කතාවක්. මම මෙම කථාව මිට කලින් අහල තිබුනත් එහි නිවැරදි විස්තරය දැන ගන්න ලැබුනේ මෑතකදී ස්වාධින රුපවාහිනියේ විකාශනය වුන "සංහිඳ" වැඩ සටහනකින් (තේරුමක් නැති රුපවාහිනියේ මහගෙදර, තේරුමක් තියෙන වැඩ සටහන් කීපයක් වන භාරත ගී වින්දන, සංහිඳ වගේ වැඩසටහන් කිහිපයක මම රසිකයෙක් බවත් මතක් කරන්න ඕනේ. මොකද හොඳ දේ අගයන්න ඕනේ නිසා). ඉතින් නිවැරදිව අසා ගත් දේවල් වල, රසවත් බව නිසාම ගේ යහළුවොත් එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුන. කොහොම හරි මේ කථාව පටන් ගන්නේ මෙහෙමයි.


කරුණාරත්න අබේසේකර සහ ගුණරත්න අබේසේකර කියල කියන්නේ සහෝදරයන්. කරුණාරත්න අබේසේකර තමයි වැඩිමහල් සොහොයුරා. මේ දෙදෙනාම අපි බොහෝ දෙනා දන්නා ඉතාමත් විශිෂ්ඨ ගීත රචකයන් දෙදෙනෙක්. එපමණක් නොවෙයි, මොවුන් දෙදෙනාම ගුවන්විදුලි සංස්ථාවේ විශාල වැඩසටහන් රාශියක නිර්මාපකයන්. නන්ද මාලනී වැනි විශිෂ්ඨ ගායක පරපුරක් බිහි කලේ "කරු අයියගේ" ළමා පිටියෙන් බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මේ කතාවට සම්බන්ධ වන අනිත් දෙන්න තමයි H.R. ජෝතිපාල මහත්මයත් මිල්ටන් පෙරේරා මහත්මයත්. උපතින් සහෝදරයන් නොවුනත් ඔවුන් දෙපලත් ඉතා කුළුපග මිතුරන්.

ඉතිහාස කතාවේ විදියට, දිනක් ජෝතිපාල මහත්මය ගිහින් තියෙනවා කරුණාරත්න අබේසේකර මහත්තයව මුණ ගැහෙන්න. ඒ ඔහු ලවා ගීතයක් රචනා කරවගන්න අරමුණෙන්. නමුත් ඒ මොහොතේ, නිවසේ ඉඳල තියෙන්නේ ගුණරත්න අබේසේකර මහත්මයා. ජෝතිපාල මහත්මයාගේ අභිලාශය තමා විසින් ඉටු කර දෙන අරමුණෙන්, ඒ මොහොතේ ඔහු මුමුනමින් සිටි හින්දි තනුවකට, ජෝතිපාල මහත්මයාගේ සුන්දර රුප කායටත් ගැලපෙන විදියට ගුණරත්න මහත්මයා ගීතයක් රචනා කරලා තියෙනවා. ඒ ගීතය තමයි "අනංගයා මන් .. අනංගයා" කියන ගීතය. එම ගීතය රචනා කරන මොහොතේ මෙම ගීතය වාදයකට මුල පුරයි කියල ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. මෙහි සඳහන් සෑම ගීතයකම වචන හොඳින් කියවීම මේ කතාවේ රසවත් බව වඩා හොඳින් අවභෝධ වෙන්න උදව් වෙන බවත් මතක තියා ගන්න ..

අනංගයා මන් .. අනංගයා.. අනංගයා මන් .. අනංගයා .. ආදරේ.. ප්‍රේමයේ.. සුර ලොව තනතුරු දරු.. අනංගයා මන් .. අනංගයා

V1: රාම සීත එක් උනේ .. රාධ ක්‍රිෂ්ණ ලං වුනේ.. සාලිය කුමරුට අශෝක මාලාවන් අත් වුනේ.. // මා නිසයි ලෝකයේ හැම යුවලම එක් වුනේ.. අර සුර ලොවේ මනු ලොවේ කොතනත් මගේ බල පෙනේ..

V2: තරුණ හදක් හොයනවා.. මල් මහ සර යොදනවා .. ඒ උක් දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා .. // නිල බලේ.. කුළ බලේ.. දන බලේ.. පෙන්නලා .. අතු පැලේ.. මාළිගේ.. පෙම්වතුන් ලං කළා...

ඉතාමත් කෙටි කාලෙකින් මේ ගීතය ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මෙම ගීතයේ ජනප්‍රියත්වය දුටු මිල්ටන් පෙරේරා මහත්මයා කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන් මේ හා සමාන ගීතයක් නිර්මාණය කරවා ගෙන ගයන කළා. ඒ තමයි, "සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා, ඔය අනංගයා තමයි මහා පෙම් හොරා" කියන ගීතය. කුමන හෝ හේතුවක් නිසා එම ගීතයෙන් අනංගයා විවෙච්ච්නය කර, ඉහත ගීතයට පිළිතුරක් සපයා ඇති බව මානව වැටහෙනවා. වචන හොඳින් නිරීක්ෂණය කරන්න.

සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා... ඔය අනංගයා තමයි මහා පෙම් හොරා ...
V1: රාජ දරුවෝ රාජ ඔටුනු අත් හලේ.. සාලිය කුමාර රැඳේව්වේ රොඩී රැලේ.. රාවණ රජු සීත කුමරි සිර කලේ.. වානර හනුමන්ත මැව්වේ ගිනි මැලේ.. එක නර නින්දා දුක් වින්දේ ඇත් හලේ.. අනංගයා නිසයි ...

V2: කුලය නිලය ධනය බලය සලකලා.. වටිනා තරුණ තරුණියන්ව නැති කළා.. // වස විස බොන්නේ මිය යන්නේ එල්ලිලා.. අනංගයා නිසයි ...

මෙම ගීතය මෙසේ ප්‍රචාරය වෙන්න ගත්තහම, ගුණරත්න අබේසේකර, ජෝතිපාල සුසංයෝගයෙන් තවත් ගීතයක් නිර්මාණය වෙනවා.. ඒ තමයි "පෙම්වතුන්ට සරණේ.. අනංගයා මමනේ" කියන ගීතය. නැවතත් වචන හොඳින් නිරීක්ෂණය කරන්න.

පෙම්වතුන්ට සරණේ.. අනංගයා මමනේ.. පෙම් සටනෙන් පැරදී.. දොස් නැගීම වැරදි..

V1: පෙමින් වේලි කාලිදාස මහා කවක් බිහි කලේ .. කලාකාමී කවි හිත් වල පෙම් රසයක් මතු කලේ //.. සංගීතය පෙම් ගීයෙන් පණ නංවා ඔප කලේ //.. තරුණ ලොවේ රජ දහනේ මම පෙන්වමි මගේ බලේ ..

V2: මහානාග ලද ශිලා, ජයපාලට මාලනී.. ආදරයෙන් එකතු වුණා අතුල සමග රෝහිනී ..// නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී .. // .. මගේ හී සර පහර ලබා පෙම් මිහිරෙන් මත වුනේ ..

V3: ස්ථිර ආලය නොපතා දෙතුන් දෙනෙක් ගැන හිතා .. වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා ..// කව්රුන් කොයි ලෙස කිව්වත් රජා මගුල් සක්වලේ ..// තරුණ ලොවේ රජ දහනේ මම පෙන්වමි මගේ බලේ ..

මේ ගීත වල වචන දිහා බලන විට ඉතිමත් හොඳින් පැහැදිලි වන කරණය තමයි, මේ හැම ගිතයකින්ම ඊට කලින් ගීයට පිළිතුරු සැපයීම. මෙයටත් පිළිතුරු ගීයක් කරුණාරත්න අබේසේකර, මිල්ටන් පෙරේරා සුසංයෝගයෙන් බිහිවෙනවා. ඒ තමයි, "අනංගයා සරණේ .. පෙම්වතුන්ගේ මරණේ" කියන ගීතය.. නැවතත් වචන හොඳින් නිරීක්ෂණය කරන්න.

අනංගයා සරණේ .. පෙම්වතුන්ගේ මරණේ.. තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ.. අනංගයා සරණේ

V1: බිරිතනියේ කිරුළ අයිති වින්සන් අධිපාදය..// මල්සරාගේ හීය වැදී රජ සැප හැර දා ගියා ..// දුෂ්මන්ත කුමරු සමග සකුන්තලා පැටලුනේ.. // මල් හීයෙන් විදපු නිසයි ඇවිදින කොට ඇය වනේ ..//

V2: කවියන් ගත් කරුවන් ලොව උමතු වෙලා වැලපුනේ ..// අනංග හී සැරය නිසයි සක් දෙවියන් ගොළු වුනේ.. // ලෙයිලා මජ්නු පෙම් කථාව හද දෙදරන පුවතකි.. // සුපුන්සරා වාසි අතට පගා ගසන මිනිසෙකි..//

"සුපුන්සරා වාසි අතට පගා ගසන මිනිසෙකි" ලෙස ගීත රචනා වෙද්දී, මෙම වාදය ජනතාවට විශාල ආස්වාදයක් ගෙන දෙන එකක් බවට පත් වෙලා තියෙනවා.. එකල අනංග වාදය නමින් වෙනම සංගීත ප්‍රසංග පවා පැවතුන බව කියවෙනවා.. නමුත් කාරණේ මෙසේ සිදුවෙද්දී, අබේසේකර සොහොයුරන් අතර සහ ජෝතිපාල, මිල්ටන් අතර යම්කිසි ගට්ටනයක් ඇති බව ජනතාව අතර රාවයක් යන්න පටන් අරන් තියෙනවා.. සත්‍ය වශයෙන් එසේ ගැටුමක් නොතුබුනත් ඔවුන්, මෙම කසුකුසුව සමතයකට පත් කිරීමට ඔවුන් හතර දෙනාම එකතු වෙලා අනංග වාදය අවසන් කිරීමට ගීයක් නිර්මාණය කරනවා.. ඒ තමයි.. ජෝතිපාල සහ මිල්ටන් දෙදෙනාම ගායනා කරන.. අබේසේකර සොහොයුරන් විසින් රචිත .."අපි සන්තෝසෙන් ඉන්නේ .. දුක ශෝකය නෑ දන්නේ .. අයිය මල්ලි වාගේ.. අයියා මල්ලි" කියන ගීතය.. එහි සඳහන් "අපේ හිත් වල නෑ ක්‍රොදේ .. විහිලුවටයි විවාදේ ..." යන වචන වලින් ඔවුන්ගේ සැබෑ අරමුණ ජනතාවට පසක් කරන්න ඔවුන් සමත් වෙනවා..

ඔන්න ඕක තමයි අනංග වාදයේ කථාව.. කලාකාමී හදවත් වලින් පිරි එවන් සොඳුරු මිනිසුන්ගේ .. සොඳුරු නිර්මාණ සහ ඔවුන්ගේ ඒ ක්‍රියාවන් අදටත් අපට ඇසෙද්දී ඉතාමත් ආස්වාදයක් ගෙන එන බවට දෙගිඩියාවක් නැහැ.. නමුත් අවාසනාවට කරුණනම් අද මෙවන් සොඳුරු දේවල් බිහි නොවීම... හැකිනම් මෙම ගීත සොයාගෙන සවන් දෙන්න.. එය තවත් මෙය රසවත් කිරීමට උදව් වෙයි..

මෙම ලිපි හිච්චි කොලුවා facebook පිටුවේද පළවීමට ඉඩ ඇත. ඒ මෙම බ්ලොග් එකත් එම පිටුවත් දෙකම මගේ බැවිනි.. 

1 comment:

  1. නියම ලිපියක්.. අදයි අහු උනේ...මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අහක් කලානං කමෙන්ට් කරන්න ලේසීයි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...