මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Thursday, April 5, 2012

කම්පණ අපෙන් වියෝ වී වසර 9 යි..


ගුණදාස කපුගේ.. සැබවින්ම අනන්‍ය වූ හඬක්..  ඔහුගේ හඬට අනුකාරක මෙතෙක් බිහිවී නැත්තේ එබැවින්..  ඔහු අප අතරින් වියෝ වී, අප්‍රේල් මස 3 වෙනිදට අවුරුදු 9ක්..  එහෙයින් ඔහු ගැන යමක් සඳහන් කරන්න ඕනේ කියල හිච්චි කොලුවට හිතුනා.. ඔහුගේ අකල් වියෝව මගේ හදවත කම්පනය කල සැටිත් ඔහුගේ අවමංගල්‍ය උත්සවේට සහභාගී වුන අවස්ථාවේ මගේ නෙතට කඳුළු ඉනුව හැටිත් තවම මතකයි..


1945 අගෝස්තු මස 7 වෙනිදා මෙලොව එළිය දුටු කපුගේ කරන්දෙණිය මාධ්‍ය මහා විද්‍යාලයෙනුත්, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලෙනුත් සිප්සතර හදාරා හේවුඩ් සංගීත කළා ආයතනයෙනුත්, ඉන්දියාවේදීත් වැඩි දුර සංගීතය හදාරනවා. 1960 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමග ඒක් වන හෙතම එතැන් පටන් විවිධ තාඩන පීඩන හමුවේ ඉතා දුර ගමනක් යන්න මන් පෙත් විවර කර ගන්නවා.. ගුවන් විදුලියේ "A " ශ්‍රේණියේ ගායකයෙක් ලෙස, 1973 "දෑස නිලුපුල් තෙමා" ගීතයෙන් ශ්‍රී ලංකාවේ ගායකයෙක් බවට පත් වන හෙතම එතැන් පටන් තම හඬ මුසු කලේ ජනතාව සහ ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කියන එක කව්රුත් දන්නා කාරණයක්.. ඔහුගේ ගීතාවලිය තුල ඇති බොහෝ ගීත, රටේ පොදු ජනතාව විඳි දුක් ගැහැට පාදක කරගෙන ගැයුන ඒවා බව නොරහසක්.. සැබෑ කලාකරුවෙක්ගේ වගකීම එය කියලයි මගේ මතය..  කලාකරුවෙක්ගේ සුවිශේෂී වූ කාර්යභාරය මානව තේරුම් ගත් කළාකරුවෙක් ලෙස ඔහු විඳි දුක් ගැහැටද අනන්ත අප්‍රමාණයි.. විටෙක සේවයෙන් පහවෙන ඔහු, තවත් විටක දඬුවම් මාරුවකින් රජරට සේවයට යවන්නේ ඔහුගේ ගමන අඩපන කරන අරමුණෙන්. නමුත් ඔහුගේ විශේෂ හැකියාවෙන් රජරට සේවය තුල වික්‍රම පාන හෙතම අති විශිෂ්ට තරුණ පරපුරක් ඔහු වටා බිහි කරන්නේ කුහක පාලකයන්ට කනේ පහරක් ගසමින්. සියල්ලටම වඩා ගුණදාස කපුගේ කියන්නේ ඉතාමත් සංවේදී වූ සොඳුරු මිනිසෙක්. සංවේදී වූ හදවතකින් යුතුව තමන්ගේ හැඳි වත ගලවා ඒක් අවස්ථාවකදී හිඟන පුද්ගලයෙකුට හෝ හිතවතෙකුට ලබා දුන් කතාව බොහෝ දෙනා අසා ඇතී බවට සැකයක් නැහැ. සැබවින්ම කපුගේ යනු සොඳුරුතම මිනිසෙක්.. සැබවින්ම ජනතාව වෙනුවෙන් ගී ගැයූ ගායකයෙක්, සංගීත වේදියෙක්, කලාකරුවෙක්. 

වැරහැලි ඇඳ .. අඩු කුලියට.. සළු මැසුව කුමාරි..
ඉඳි කටුව අතේ.. ඇනුනදෝ... නිඳන කුමාරි...

තණ පළසේ බිම ඔවින දිගාවී ..ලැම කිනිසිද්දක් ඇනුන කුමාරි..
කනකර ගලවා රැයට මුවාවී ..මරු රැගෙන ගියේ කොයිද කුමාරි ...

හිම යකඩ කඳන් වලට මුවාවී ...සුදු මිනී මලක් මතුව කියාවි ...
සත් පතිනි මවුන් අවදිව ඒවි ..උන් උදුරා ගත් සළඹ ගෙනේවි...  

ඔහු තම හඬ අවදි කලේ සැබවින්ම ජනතාව වෙනුවෙනි..  ඇත්තෙන්ම කපුගේ තරම් ජනතා ප්‍රශ්න වෙනුවෙන් ගී ගැයූ වෙනත් ගායකයෙක් ශ්‍රී ලංකාව තුල නොමැති බව මගේ හැඟීමයි.. නමුත් අද ඇතී FM නාලිකා තුල හෝ රුපවාහිනී නාලිකා තුල කපුගේ හට ඇතී ඉඩකඩ ඉතා සීමිතයි. ලැබෙන ඉඩකඩේ වුවද ප්‍රචාරය වන්නේ ඔහුගේ ඉතාමත් අල්පයක් වූ කකුලට ගැයූ ගීත. එය මෙවන් විශිෂ්ඨ කලාකරුවෙකුට කරන අවමානයක්. එනමුදු, ගුණදාස කපුගේ නම් වූ අසහාය කලාකරුවා අපෙන් වෙන්වී වසර 9 ක් ගත වුවත් ඔහු සදා අපේ හදවත් තුල ජීවමානයි. දුප්පත් දුවා දරුවන්ගේ යථාර්තය කියවෙන තවත් ඔහුගේ තරමක් අප්‍රකට ගීතයක වචන පෙළක් සමගින් මෙම සටහන අවසන් කරන්නම්..

අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ ..වල කොළ අත්ත නිදා බෝඩින් යාමේ..
හොඳටම කෙට්ටු වෙලා ඝනදේවි රූපේ ..පාලුයි සිහින විමනේ .. පාලුයි සිහින විමනේ ..

සුසැටි ශිල්ප කළා සල්පිලකට නොගැනේ..
හඳ එළියෙන් කිසිදා.. ලිප ගිනි දැල් නොනැගේ..
සත්රුවනින් වැසි වස්සන..  මන්තර ගුරුකම් හුරුකළ.. 
කොම්පුටර් නොදැනේ .. කොම්පුටර් නොදැනේ ..

චන්දෙට පැල් රැක්කා.. ගිනි තැප්පට සරියේ ..
මව් පිය කඳුළු වැටී සහතික පත් මැකුණේ ..
රන් අකුරෙන් නම ලියවුන .. රනකැටි පුතුනට පමණයි...
සිංහාසන තැනුනේ .. සිංහාසන තැනුනේ ..

මෙම ලිපි හිච්චි කොලුවා facebook පිටුවේද පළවීමට ඉඩ ඇත. ඒ මෙම බ්ලොග් එකත් එම පිටුවත් දෙකම මගේ බැවිනි..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...