සිංහල ගීතයේ ගමන් මග ගැන මගේ සිතට පහලවූ කරුණු කීපයක් මීට කලකට පෙර මගේ "සිංහල ගීතය කොයිබටද?" ලිපියෙන් ගෙනහැර දැක්වුවෙමි (කියවපු නැති කෙනෙක් ඉන්නවනම් එම ලිපියට මෙතනින් පිවිසෙන්න). ගීතයක් කුමක්දැයි අර්ථකථනය කිරීමට යාම අර්ථ ශුන්‍ය දෙයක් බව මගේ හැඟීමයි. තමන් කැමති දෙයකට අර්ථකතන සැපයීමට යාම එය යකඩ මංජුසාවක දමා සිර කරනවා හා සමාන යයි වරක් කේ.ජයතිලක ශුරින් තම කෘතියක සඳහන් කළේය. අර්ථකතන ඔස්සේ යමක් විග්රහ කිරීමට යාම, ඒ යකඩ මංජුසාවේ ලේබලය බලා ඇතුලත ඇති දේ පිලිබඳ පැවසීමට යාම හා සමාන යයි ඔහු තව දුරටත් එහි සඳහන් කොට ඇත. එය සත්‍යක් ලෙස මා හටද හැඟේ. නමුත් විවිධ ගීත අප හදවත් විඳින ආකාරය බොහෝ සෙයින් වෙනස් වේ. යම් ගීතයක් කල් පවතින්නේ, එම ගීතයට ජනතාවගේ හදවත් තුල යම් කිසි රසයක් නැවත නැවතත් උත්පාදනය කිරීමට හැකිනම් පමණි. මෙම ලිපිය තුළ මාගේ වෑයම වන්නේ, එලෙස නැවත නැවතත් රස ජනණය කල හැකි ගීත මෑත ඉතිහාසයේ බිහි නොවීමට හේතුවූ කාරණාව කුමක්දැයි විමසා බැලීමය.
සිංහල ගීතයේ ස්වර්ණමය යුගය ලෙස 1970 දශකය එනම් රිජ්වේ තිලකරත්නයන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරූ කාලය සලකනු ලබයි. එකල ගුවන් විදුලිය සැබෑ හැකියාවන්ට තෝතැන්නක් වී තිබු බව ඔහුගේ අතීතය පිරික්සන විට පෙනී යයි. මෙයින් වඩා වැදගත් වූයේ අතිශය හැකියාවෙන් සමන්විත් වූ, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අතිශය දුර්ලභ ඝනයේ ගීත රචකයින් පිරිසක් ගුවන්විදුලිය වටා සිටීමය. එකල ගුවන්විදුලියේ පොඩි මාස්ටර්, ලොකු මාස්ටර් සහ මැද මාස්ටර් ලා සිටි බවට ප්රකටය. මෙයින් පොඩි මාස්ටර් වූයේ ප්‍රේමකිර්ති ය. මා ඉහත ලිපියේ සඳහන් කළ, "ආදරයේ උල්පත වූ අම්මා" වැනි පද මාලා ප්‍රේමකිර්තිලා අතින් බිහි වූයේ මෙවන් වටපිටාවක් තුළය. මොවුන් භාෂාවේ ප්‍රවීණයන් මෙන්ම අතිශය පුළුල් වාග්මාලාවකට උරුමකම් කියූ අයවලුන්ය. එතරම් ප්‍රකට කාරණයක් නොවුවත්, එකල ගුවන්විදුලිය තුළ සියලු ගීත රචනා සඳහා නිසි බලධාරියකුගෙන් අවසර ගත යුතු විය. එහි ඇති සාධනීය කරුණනම්, භාෂාව පිලිබඳ ප්‍රවීණයන් වූ මොවුහු සෑම ගීතයකම භාෂා ගුණය ආරක්ෂා කිරීමට බැඳී සිටියහ.
මෙහිලා අනෙක් වැදගත් සාධකය වූයේ, ගීත රචකයන් මෙන්ම සංගීතයේ ප්‍රවීණයන් රැසක් ගුවන්විදුලිය වටා එක් රොක් වී, තම ගායන හා සංගීතමය හැකියාවන් උපරිමයෙන්ම ලබා දීමයි. මෙහිදී වරක් ප්‍රේමසිරි කේමදාස ශුරින් පැවසු කරුණක් මගේ සිහියට නැඟේ. ගීතයේ පදමාලාවෙහි අර්ථය තවත් උද්ධීපනය වන තනුවක් යෙදීම ගීතයක සාර්ථකත්වය රඳා පවතින වැදගත් කාරණයක් ලෙස ඔහු පෙන්නා දෙන ලදී. ඒ සඳහා ඔහු ගෙන හැර දැක් වූ උදාහරණය වූයේ "අම්මාවරුනේ" ගීතයයි. මේ සියලු කාරණා අග තැන් පත් වූ, අති විශිෂ්ට ගීත විශාල ප්‍රමාණයක් අපගේ ගීත සාහිත්‍ය තුළ ඇත. ඒ අතරින් ෂෙල්ටන් පෙරේරා නම් වූ සුවිශේෂී කලාකරුවා සංගීතවත් කොට ගයන "එගොඩහ යන්නෝ" ගීතය මගේ සිහියට නැඟේ.
එගොඩහ යන්නෝ තව කව්රුද ඉන්නේ ..
මෙගොඩහ යන්නෝ තව කව්රුද ඉන්නේ.....
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ .. යනවානම් එන්නේ...
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා...
ගඟුල අනෝමයි අද මට වෙහෙසයි.. යනවානම් එන්නේ...
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා...
බැලූ බැල්මට මෙය තොටියෙකුගේ වදන් පෙළකි. නමුත් මෙහි ගීත රචකයා වූ ඩෝල්ටන් අල්විස් ශුරින් සමාජයට කීමට උත්සාහ දරා ඇත්තේ වෙනස් දෙයකි. මෙහි සඳහන් වන තොටියා වයෝවෘධ වූ බුදු රජාණන් වහන්සේය. පිරිණිවන් පෑම අභිමුකව, උන්වහන්සේ සංසාර ගං තෙරෙන් එගොඩවීමට තවත් සිටින උදවියට පමා නොවී පැමිණෙන ලෙස ඉල්ලීමක් කරයි. තමා දැන් වෙහෙසට පත්ව ඇති බවත්, ජිවිත වලට අන්ධකාරය පැමිණෙමින් තිබෙන බවත්, පමා නොවී පැමිණෙන ලෙසත් උන්වහන්සේ ජනයාගෙන් ඉල්ලීමක් කරයි. මෙම අර්ථය ඩෝල්ටන් අල්විස් කළාකරුවා විසින් මෙම ගීත රචනය සිදු කළ කොලය පිටුපස සඳහන් කර ඇති බව බවට සාක්ෂි තිබේ. එලෙසම මෙහි ඇත්තේ ඉතාමත් ම සරල, කෙටි වදන් පෙළකි. එම කෙටි වදන් පෙළ ඉතාමත්ම දිගු ගීතයක් බවට පෙරලීමට ෂෙල්ටන් පෙරේරා කළාකරුවා සමත්වී ඇත. මෙම ගීතය එකල කලාකරුවන් තුළ තිබු අර්ථ රසය සහ ශබ්ද රසය එකට මුසු කොට උසස් නිර්මාණ සැපයීමේ හැකියාව පිලිබඳ කදිම නිදසුනකි. එලෙසම ගුණදාස කපුගේ ශුරින් විසින් ගායනා කරන "උලලේනෝ" ගීතයද මේ හා සමාන වුවකි. මෙරට ඇතිවූ තරුණ කැරැල්ලකට පසුව කැලෑ වැදි තරුණයෙකුගේ සිතුවිලි එම ගීතය හරහා ගෙනහැර දක්වයි. නමුත්, "සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ... නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ" වැනි යෙදුම් යෙදීම තුළ, එවන් අර්ථයක් ආග්‍රහණය නොකරන ජනයා වෙත නිවන් මග පිලිබඳ අදහසක් ජනිත කෙරුවද, මෙහි සඳහන් වන "නිවන" නම් සමාජවාදයයි. විවිධ රසික සමුහයාට, විවිධ අදහස් එකම ගීතය තුළ මැවීමට මේ කලාකරුවන් තුළ තිබු ශක්තිය අතිමහත්ය. එය මා පෙර සඳහන් කල භාෂා දැනුම හා නිවැරදි සංගීත භාවිතයේ ප්‍රතිඵලයන්ය.
මෙවන් උදාහරණ තව කොතෙකුත් ගෙනහැර දැක්විය හැක. ඇතැම් පරණ ගායකයින්, පද රචකයින් මියගොස් වසර 25 කටත් වැඩිය. නමුත්, අදටත් ඔවුන්ගේ ගීත ජනතා සිත් සතන් තුළ පැළපදියම් වීමට හේතු සාධක වී ඇත්තේ මෙම ගීත පිටුපස ඇති ඉහත කී යෝධ ශක්තිය බවට සැකයක් නැත. නව පරපුරේ යැයි කියා ගන්නා බහුතර ගායක ගායිකාවන්ගේ ගීත, රසිකයන්ට කෙසේ වෙතත් ඔවුන්ටද වසරක් ගිය තැන පද මාලා අමතක වී යයි. අපමණ වෙහෙසක් දරා මාධ්‍ය වලට මුදල් ගෙවා ඔවුන්ගේ ගීත ප්‍රචාරය නොවන්නේ නම්, මසක් දෙකක්වත් එවැනි ගීත ජනතා හදවත් තුළ රැඳී නොපවතී. එයට හේතුව කුමක්දැයි ඉහත කාරණා පිරික්සීමේදී වටෙහෙනු ඇත. ඒ සඳහා කදිම උදාහරණයක් වන මෑතක කන වැටුණු අපුරු ගීතයක් මගේ මතකයට නැගේ.
නුවරඑළියේ සරලා ..
හේන මත්තේ නැහිලා ..
යාල් දෙවි හරහා මට එව්ව හාදු ලැබුණා ...
සරලා ඇත්තේ නුවරඑළියේය. මගේ දැනුමේ හැටියටනම් හේන් ඇත්තේ වියලි කලාපයේය. "යාල් දෙවි" නුවරඑළියේ අහලකින්වත් යන්නේ නැත. මෙම ගීතය "දුන්න දුනු ගමුවේ, ඊතල ඉතල ගමුවේ, රාළ මීගමුවේ, මුවෙක් හැඬුවා සබරගමුවේ" වැනි ගීතයකි. කිසිම පදනමකින් තොරව වචන ටිකක් අමුණා ඇති බව ඉතාමත් පැහැදිලිය. ඉතා විශිෂ්ට නිර්මාණ අද පරපුර තුළද බිහි නොවනවා නොවේ. නමුත් අතරින් පතර ඇති මැණික් කැට යට කොට බොරළු කැට අද ගීතය වෙලාගෙන ඇත. සිංහල ගීතය කොයිබටද? පැණය ඇත්තේ එදා මෙන් පරිපුර්ණ මිනිසුන් අද මේ පොළව මත නැද්ද? එසේත් නැතිනම්, එවන් පරිපුර්ණ මිනිසුන් නිර්මාණ බිහි නොකරයිද? එසේත් නැතිනම් එවන් නිර්මාණ වලට අද මාධ්‍ය තුළ ඉඩක් නොමැතිද? යන ස්ථාන වල යැයි මට හැඟේ. කාරණය කුමක් වුවත්, එය වෙනස් කළ යුතු කාලය එළඹී ඇතැයි මට සිතේ. එසේ නොමැති උවහොත්, අපගේ ඊළඟ පරම්පරා වලට ඉතුරු වන්නේද අපේ පැරැන්නන්ගේ ගීතම පමණකි.

ඉතාම කාලීන ලිපියක්. ගීතයකින් බලපොරොත්තු විය යුතු අර්ථ රසය භාවාත්මක හැගීම වැනි කිසිවක් අද බොහෝ ගීතවල අහලකවත් නෑ. මෙවනි නිර්මාණ කරන අයවලුන් කිසිසේත්ම කලාව යනු කුමක්දැයි පවා දන්නේ නෑ.
ReplyDeleteකලාව වානිජකරණය වෙලා. අද ගොඩක් දෙනා හදන්නේ මොකක් හරි නිර්මාණයක් එළියට දාල සල්ලි හම්බ කරන්න. වාණිජමය නිර්මාණත් තියෙන්න ඕනා, ඒත් දෙක අතර සමබරතාවයක් නැත්නම් කලාව පිරිහෙනවා.
ReplyDelete