මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Monday, September 19, 2011

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී

 

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" මෙහෙම කිව්වේ මම එහෙම නෙමේ, කුමාරතුංග මුනිදාස නම් මහා ගත්කරුවා.

මට මේක මගේ ඔලුවට ආවේ ලඟදි දැක්ක කාරණයක් සහ ඒ පිලිබඳ ඇති වෙච්ච දෙබසක් මතක් වෙච්ච නිසා. කාරණේ නම්, ලංකාවේ සිසුවෙක් ලක්ෂ 30 ක් පමණ වැය කරලා හුළං බලෙන් විදුලිය නිපදවල ධාවනේ කරන්න හදපු හයිබ්‍රිඩ් මෝටර් රථය ගැන පළවුන ප්‍රවුර්තිය. "ඕකත් වතුරෙන් හදපු එක වගේ තමයි" එහෙම කිව්වේ ඕක ගැන කතා කරන වෙලාවක මගේ මිතුරන් කීප දෙනෙක්. "මිරකල්" නමැති ඉන්දනයක් ගැනත් පහු ගිය දවසේ ප්‍රවුර්තියක් පළවුනා. මම ඒක මුලින්ම කියෙව්වේ නිවුස් වෙබ් සයිට් එකකින්. "ලෝකේ ලොකුම විහිලුව" මේක ඒ වෙබ් සයිට් එකේ තිබ්බ කොමෙන්ට් වල වැඩියෙන්ම තිබ්බ වචන ටික.  මේක තමයි ලංකාවේ සමාජයේ යථාර්තය. ලංකාව වැනි රටක බිහි වන නව නිපැයුම් සියල්ලටම මුහුණ පාන්න සිදුවෙන කටුක යථාර්තය.

ලංකාව තුළ බිහි වූ, බිහි වන නව නිපැයුම් වලින් 99% කම ඉරණමනම් ලැප් තැනම ලොප් වීම හෝ පුවත් පතක හෝ වෙනත් මධ්‍යක ප්‍රචාරය වී ජනතාවගේ මතකයෙන් ඈත් වී යාම පමණකි. මිට අවරුදු 10-12 කට පමණ ඉහත බිහිවූ පොලිතින් වලින් පෙට්‍රල් නිපදවීමේ ක්‍රමවේදය මිට කදිම උදාහරණයකි. මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයකින් පසුව රජයේ ඇමතිවරයෙක් සපථ කර සිටියේ එම ක්‍රමවේදය ඉදිරියට ගෙන ඒමට උපකාර කරන බවය (මෙකල වෛද්‍ය පීටයක් කරගහන් යන්නේ ඔහුය). නමුත් පසු කාලීනව ආරංචි වුයේ එම නිර්මාණකරුවාට මෙරට හැර යාමට සිදු වූ බවක්ය. මෙසේ මේ රට හැර ගිය, නිර්මාණ කරණයෙන් ඈත් වූ තවත් සැඟවුණු නිර්මාණ කරුවන් කොපමණ සිටින්නට පුලුවනිද?

මාගේ පුද්ගලික අත්දැකීමක් මෙහි සදහන් කිරීමට කැමැත්තෙමි. එනම් මා හොදින් දන්නා හදුනන සොහොයුරෙකු විසින් එක්තරා නව නිපැයුමක් බිහි කරන ලදී. එම නිපැයුම වෙනුවෙන් ඔහුට ලෝක නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයේදී ලොව සියලු රටවල් අභිබවා රිදී පදක්කම ලැබුණි. පෙර ලෙසම ඔහුගේ නිර්මාණය වෙනුවෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය ලැබුන අතර සියල්ල එතනින් අවසානයක් බවට පත් විය. අවසානයේදී ඔහුට ශ්‍රී ලංකාවේ ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් අහිමි වූ අතර මේ වන විට ඔහු එංගලන්තයේ අධ්‍යාපනය හදාරා තම හැකියාව, ශක්තිය වෙනත් රටකට විකුණමින් සීටී. කණගාටුවට කරුණ නම්, මෙවැනි හැකියාවක් සතු තරුණයෙක්ගේ හැකියාව මෙරට සංවර්ධනය වෙනුවෙන් දායක කර ගැනීමට මෙරට අධ්‍යාපන ක්‍රමයද, පාලන තන්ත්‍රයද අපොහොසත් වීමය.

මා පෙර කී ලෙස මෙරට ඇත්තේ ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයකි. ගිරවන්ගෙන් හොඳම ගිරව් 1% ක් හෝ 2% ක් විශ්වවිද්‍යාලයට පිවිසෙන අතර සෙස්සන් තම තම හැකියාව මත අනාගතයට මුහුණ දෙනු ඇත. මේ අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත්තේ සිතන්නට පුළුවන් දරුවන් පිරිසක් බිහි කිරීමට නොවේ. අවම වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයවත් එදෙසට යොමු වී ඇත්තේ කලාතුරකිනි. සිතන්න පුළුවන් දරුවන් පිරිසක් බිහි කරන සුන්දර අධ්‍යාපන ක්‍රමය, ඉතා සුන්දර වචන යොදා මෙතෙක් බලයට පත්වූ සෑම ආණ්ඩුවකම මැතිවරණ ප්‍රකාශ තුළ දකින්නට තිබේ. නමුත් එය යථාර්තයක් බවට පත් නොවන්නේ, සිතන්නට පුළුවන් සමාජයක් බිහිවූ කල ඔවුන්ගේ අමන ක්‍රියා වලට තෝතැන්න අහිමි වේදැයි ඇති භිය නිසා වීමට පුළුවන. කාරණය කුමක් වුවත්, අද පවතින අධ්‍යාපන ක්‍රමය තුළ බිහි කරනුයේ ගතානුගතික චින්තනයක් ඇති රොබෝවරු පමණි. මෑතකදී නිර්මාණය වූ "3 Idiots" හින්දි චිත්‍රපටය තුළ දැක්වෙන ඒ යථාර්තය ලාංකීය සමාජයටද බෙහෙවින් අදාලය. මේ සියලු බැඳී බිඳ දමා එළියට ඒමට වැර දරන දරුවාගේ උත්සාහය අඩපන කිරීමට බොහෝ දෙමව්පියන්, ගුරුදෙගුරුන්ගේ සිට පෙළ සැදී සිටින උදවිය අති විශාලය. ඒ ඔවුන් මෙම උත්සාහයන් සාර්ථක ක්‍රියාදාමයන් ලෙස නොදකින බැවිනි. ඒ ඔවුනුත් මෙම අධ්‍යාපන ක්‍රමයේ නිර්මාණයන් වන නිසාය.

ඕනෑම නිර්මාණ කාර්යක් තුළ මෙවැනි "අදහස් ගිල දමන්නන්" (Idea Eaters) බහුලය. මෙරට අති බොහෝ රාජ්‍ය සහ පුද්ගලික ආයතන තුළ සිදුවන්නේද මෙම ක්‍රියාවලියමය. බොහෝ පුද්ගලික ආයතන තම සේවකයන්ගෙන් වෙනස් ආකාරයට සිතීම, නව අදහස්, බලාපොරොත්තු වූවත් එවැනි ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත. සේවකයන් හට නිදහසේ සිතීමට අවස්ථාවක් සපයා නොමැති අතර, ඔවුන්ගේ සිතුවිළි තුළ බිහිවන නව අදහස්, "අදහස් ගිල දමන්නන්" ගෙන් ආරක්ෂා කොට තම ආයතනයේ ප්‍රයෝජනය සඳහා එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් බොහෝ (99.99%) ආයතන තුළ නොමැත. Matsushita, Hitachi, Mazda, Toyota, Nissan, Nippon Denso, Canon, Fuji and JVC වැනි ලෝකප්‍රසිද්ධ ජපන් ආයතන කේන්ද්‍ර කරගත් එක්තරා ගවේෂණයක් පෙන්නා දෙන ආකාරයට, එවැනි සේවක අදහස් උකහා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම තුළ ඔවුන් ලබාගෙන අති දියුණුව අතිමහත්ය. 1988 වර්ෂයේ පමණක් Mazda  ආයතනය  තුළ ලැබී ඇතී නව අදහස් ප්‍රමාණය එක සේවකයෙකුට 126.5% ගුණයකි (126.5 per head). අද වන විට ජපානය ලබා අති අතිමහත් දියුණුව පිටුපස සිටුනියේ මෙවැනි අයතයන්ය. නමුත්, සේවකන් දෙදෙනෙක් කතා කරනවිට එතනින් සිට ගන්නා "Manager" ලා සිටින මෙවැනි රටක, කොතරම් දුරට මෙය යථාර්තයක් කර ගැනීමට හැකි වේදැයි සැක සහිතය. 

රටක් සංවර්ධනයේ පළ නෙලා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, නව නිපැයුම්, නව අදහස්, නව නිර්මාණ බිහිකිරීම යනු කිසි සේත් බැහැර කල හැකි කරුණක් නොවේ. ඒ සඳහා ශ්‍රී ලංකාව නොපමාව යොමු විය යුතුව ඇත. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය තුළ පැහැදිලි වෙනසක් අති විය යුතුය. පැහැදිලි ආකල්පමය වෙනසක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ සිදුවිය යුතුය. ආයතන මට්ටමෙන් මේ සදහා නව නැඹුරුවක් සහ ඒ සඳහා ප්‍රයෝගිය වැඩපිළිවලක් අවශ්‍යව ඇත. මේ සියල්ල වෙනුවෙන්, බොරු දේශපාලන වචන වලට පමණක් සිමා නොවූ පැහැදිලි ප්‍රතිපත්තිමය ක්‍රියාවලියක් සහ රාජ්‍ය මැදිහත් වීමක් මේ සඳහා තිබිය යුතුය. එදිනට, ඔබ ඔය බලාපොරොත්තු වන ආශ්චර්ය දැකිය හැකි වනු ඇත.    


(සිංහල යතුරු ලියන වල ඇති අපහසුතාවයන් නිසා සිදුවී ඇති අක්ෂර දෝෂ පිලිබඳ කණගාටුව පළ කරමි)  

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...