මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Tuesday, August 9, 2011

අළු යට ගිනි පුපුරු 1




"සමරු පොතේ පිටු ගැලවී සුළගේ ලේලෙනවා.. සොදුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා.. "

ඒ එදා M.S Fernando ගායකයා විසින් ගයන කල ගීතයකි. යම් හෙයකින් මෙම ගීත මෑත කාලයේදී රචනා වුනිනම් එය මෙසේ වීමට ඉඩ තිබුණි.

"
මුහුණු පොතේ status updates තියෙනවා... චැට් window එක ඇතුලේ ඔබ සිහි වෙනවා... "

අද සමරු පොත් නැත.. ඇත්තේ facebook එකේ status updates ය. පෙම් හසුන් නැත.. ඇත්තේ චැට් windows , නැතිනම් facebook messages , එසේත් නැතිනම් කෙටි පණිවිඩය. ගෙදරට හොරෙන් ලියුමක් ලියා, ඉතා අසීරුවෙන් පොතක් අස්සේ දමා පෙම්වතාට හෝ පෙම්වතියට ලැබෙන්න සලස්වා.. ඉන්පසු පෙම්වතා හෝ පෙම්වතිය එය ඉතා අපහසුවෙන් ගෙදරට හොරෙන් කියවා.. සගවා තබා ගන්නා "අතල්" එක දැන් තරුණ තරුණියන් දන්නේ නැති තරම් ය. ඒ වෙනුවට ඇත්තේ inbox එක පිරෙන විට මකා දමන SMS හෝ Messages  පමණි. ඒ තරමට තාක්‍ෂණය අද තරුණ සමාජය වෙලා ගෙන ඇත. තාක්‍ෂණය සමාජ ගත වීමේ වරදක් නැත. නමුත් සෑම තැනකදීම පාහේ, මෙහිදීද අප සමාජය උකහා ගනිමින් තිබෙන්නේ එහි ඇති නරක පැත්ත පමණි.


facebook 
වැනි සමාජ වෙබ් අඩවි නිසා ලාංකීය සමාජයේ සිදුවෙමින් තිබෙන අපචාර පිළිබද මාධ්‍ය මගින් විටින් විට වාර්තා වේ. නමුත් මෙම ලිපියෙහි මුක්‍ය අරමුණ වන්නේ ඒවා පිළිබද සාකච්චා කිරීම නොවේ. මෙම ලිපය තුල මා කතා කිරීමට උත්සහ ගන්නේ  තාක්‍ෂණය සමග අප වෙත ක්‍රමයෙන් එන, නමුත් මතු පිට දිස් නොවෙන මහා සමාජ වියසනයක් පිළිබදවය. එදා අප පාසල් යන අවදියෙහි (1990 දශකයේ) free period ලැබෙනකන් අපි බලා සිටියේ එලියට පැණ ක්‍රීඩා කිරීමටය. එලියට බැසීමට අවසර නැතිනම්, පන්තිය තුල හෝ ක්‍රීඩා කර දඩුවම් විදි වාර ගණන අනන්තය. උසස් පෙළ ගණිත විෂය හදාරන අවදියෙහි, සතියකට වරක් පන්ති කාමරයේ බල්බය මාරු කිරීමට සිදු වූයේ, One Bumb ගසා එය කුඩු කල බැවිනි. පාසැල ඇරී ගෙදර ආවේ අහල පහල යහළු මිත්‍රයන් සමග ක්‍රීඩා කිරීමටය. මා හැදී වැදුනේ කොලට ඉතාමත් නුදුරු පන්නිපිටිය ප්‍රදේශයේ වුවත්, ඉඩ ලැබුන සෑම අවස්ථාවකම කුමන ආකාරයේ ක්‍රීඩාවක නිරත වීම අපගේ පුරද්ද විය. අගෝස්තු මස එනකන් ඇගිලි ගන්නේ සරුංගල් ඇරීමටය. එම කාලයට මුළු දවසම ගෙවෙන්නේ වෙලේය. වෙසක් පොසොන් අවරුදු කාල එනකන් බලා සිටින්නේ ලැබිය හැකි උපරිම වින්දනය ලැබීමටය. එක වරක් පොසොන් එකට අප විසින් සෑදූ පරිවාර කූඩු රාශියකින් සමන්විත වූ කැරකෙන කූඩුව දාඩිය දමමින් අතින් කරකැවීමට සිදු වූයේ අවසාන මොහොතේ අප සතු වූ මෝටරය කැඩුන නිසාය. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී පාසලේදීද සියලු බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙමින් විවිධ ක්‍රීඩා වල නිරත වූ අතර, සොදුරු වැරදි කොට දඩුවම් විදි වාර ගණනද එමටය. මගේ පියාගේ පරම්පරාවේ ඔවුන් ලැබූ අත්දැකීම් වලින් 25% ක්වත් අපහට නොලැබුන බව සත්‍යකි. නමුත් අප හට තිබූ පරිසරය තුල අප උත්සක වූයේ හැකි තාක් බාහිර ලෝකය සමග මුසු වීමටය. එවැනි ක්‍රියා කිසිසෙත් අපගේ අධ්‍යාපනයට බාධාවක් නොවූ අතර, මාගේ මිතුරන් සියල්ල අද සමාජයේ ඉහළ රැකියාවල නිරත වීම තුල ඒ බව පසක් වේ. මේ සියලු දේ අපගේ පවුර්ශත්වය වර්ධනයට ඉවහල් වූ අතර අපගේ නිර්මාණ ශක්තිය වර්දනයට ඉවහල් වූ බව ආපසු හැරී බලන විට හැගී යයි.

නමුත් අද අත්‍ වෙමින් පවතින්නේ ඉතාමත්ම කේධනීය තත්වයකි. අද පාසල් යන වයසේ දරුවන් අති විශාල සමාජ අර්බුදයක සිර වෙමින් පවතී. අද පාසල් යන කුඩාම දරුවාගේ සිට සෑම දරුවෙක් පාහේම facebook profiles ඇති අයවලුන් වේ. ඇති බහුතරයක් පරිගණක ක්‍රීඩා වල යෙදෙති. තම සතුව පරිගණකයක් නැත්නම් යහළුවෙක් මාර්ගයෙන්, එසේත් නොමැතිනම්, තමාට කෑමට ලැබෙන මුදල් ඉතරි කරගනිමින් internet cafe වෙත ඇදේ. එසේත් නොමැතිනම් CD, VCD, DVD අතර සිරවී ඇත. අද අපේ දරු පරපුර fantacy ලෝකයක් තුල හිර වෙමින් පවතින්නේ දෙමාපියන්ගේ පූර්ණ අනුග්‍රහය යටතේ වීම ඉතාමත් කණගාටුවකට කරුණකි. සමාජය එතරම් ග්‍රහණය කර නොගත්තත් මේ යථාර්තය "John seena මගේ පොඩි එකාට ඔලුවට ගහලා.. " නමැති ගීතය තුල පෙන්වීමට ඒ තරුණ පරපුරේ කලාකරුව උත්සාහ දැරීය. අද අපගේ පාසල් යන වියේ බොහෝ දරුවන්ගේ ඉලක්ක වී ඇත්තේ පරිගණක ක්‍රීඩා වල යම් යම් ඉලක්ක සපුරා ගැනීමය. එසේත් නොමැතිනම්, facebook  එකේ මිතුරන් වැඩි කර ගැනීමය. කවියක්, සාහිත්‍ය කෘතියක් රස විදීම ළමා හා තරුණ පරපුරෙන් තුරන් වෙමින් ඇත. තත්වය එසේ තිබියදී පාසල් විෂය නිර්දේශ තුලින් ද සාහිත්‍ය වැනි විෂයන් කප්පාදු වෙමින් පවතී. අද සාමාන්‍ය පෙලට ඇත්තේ උම්මග්ග ජාතකයෙන් කොටසකි. ගුත්තිල මූසිල කවි කොටසකි.. සියල්ල Rap වී ඇත. අද ළමා හා තරුණ පරපුරෙන් නිර්මාණශීලිත්වය දිනෙන් දින දිය වෙමින් පවතී. එපමණක් නොව, නිර්මාණශීලිත්වය ගොඩ නැගීමට තිබෙන අවස්ථාද දෙමව්පියන් හා සමාජය විසින් අහුරමින් පවතී. අද දරුවන් වෙසක් කූඩුවක් සාදන්නේ නැත. instant වෙසක් කූඩු දෙමව්පියන් ගෙනත් දෙයි. සරුංගලයක් සාදන්නේ කලාතුරකිනි. අප කුඩා කළ සරුංගල් 5 හැදුවොත් උඩ ගියේ එකක් නැත්නම් දෙකකි. නමුත් ඒවා තුලින් ඉගන ගත් දෑ බොහෝ වෙති. අද ඇත්තේ යකඩ බට යෙදු ready made චීන සරුංගල්ය. තවත් පසෙකින් දරු දැරියන්ට ක්‍රීඩා කිරීමට ඇති ඉඩ කඩ සීමා කරමින් පවතී. එදා අප ක්‍රීඩා කල භුමිය අද නිවාස සාදා ඇත. අතුරු පරවල්ද concrete කර දරු දැරියන්ට පාරද අහිමි කොට ඇත. එකල අපගේ අතුරු පාරවල් concrete  නොතිබීමද අපගේ සතුටට හේතුවක් වුයේ මාස කීපයකට සැරයක් ශ්‍රමදාන මගින් ඒවා සුද්ද පවිත්‍ර කළ නිසාය. නමුත් අද වඩා වැදගත් ලෙස සලකන්නේ පාරට concrete දමා, තමන්ගේ වාහන පරිස්සන් කර ගැනීම විනා දරුවන්ගේ ක්‍රීඩාව හෝ ක්‍රීඩාව තුලින් නීරෝගී දරුවෙකු බිහි කිරීම නොවේ.මෙවන් තත්වයක් තුල දරු දැරියන් fantacy ලෝක වල හිර වීම එක්තරා දුරකට සදාරණය.

දරුවන් දිනෙන් දින යන මේ අගාධයෙන්  ගලවා ගැනීම වෙනුවට මෙරට ආණ්ඩුව කරනුයේ, ප්‍රශ්නය හරි හැටි අදුනා ගැනීමෙන් තොරව අදුරේ අත පත ගාමින් අසබ්ය වෙබ් අඩවි තහනම් කිරීමය. බැලූ බැල්මට එය වටිනා තීරණයකි. එලෙසම ඉතා ජනප්‍රිය තීන්දුවකි. අවාසනාවට මෙරට සමාජය, විශේෂයෙන්ම වැඩිහිටි සමාජය දකින පරිගණකය තුල ඇති ඇති භයානකම දේ මෙම අසබ්ය වෙබ් අඩවිය. නමුත් ඔවුනට අමතක වී ඇති කරනයනම් අප කුඩා කලද, මේවා මේ ලෙස නොතිබුණද, කුමන ආකාරයෙන් හෝ මේවා සමාජය තුල තිබීමය. මෙය අලුත් තත්වයක් නොවන බව ඔවුන් වුමනවෙන් හෝ නොදැනුවත් කම නිසා මෙම කරුණ අමතක කර දමා ඇත. සමාජය තුලට මේවා ගලා ඒමේ වේගය යම්තාක් දුරට වර්ධනය වී ඇති බව සත්‍යකි. නමුත් අප පාසල් කාලයේදී පවා, මගේ මතකයට අනුව අසභ්‍ය පුවත් පත් 50 කට අදික ප්‍රමාණයක් මුද්‍රණය විය.වෙනසකට වී ඇත්තේ මාධ්‍ය වෙනස් වීමක් පමණි. එදා මුද්‍රිත මදයෙන් තිබූ දේ අද ඉලෙක්ට්‍රොනික මධ්‍යයේ ඇත. වෙනස එපමණය. සුපුරුදු පරිදි නැවතත් ආණ්ඩුව සැබෑ ප්‍රශ්නයේ වලිගෙන් අල්ලාගෙන ඇති අතර, පරිගණක හරහා අනාගත පරපුරට සිදුවෙන විශාලතම විනාශය මෙය බවට හුවා දැක්වීමෙන් සිදු වන්නේ මා ඉහත කී දරුවන් සිරවී ඇති නියම ප්‍රශ්නය යට යාමය. මෙම සමාජ අර්බුදයේ ප්‍රතිපල එකවර එක රැයකින් සමාජයට අත් විදීමට නොහැකි වුවත්, ඉතාම නුදුරු කාලයේදී එය මේ සමාජයට අත් විදීමට සිදුවන බවනම් නොඅනුමානය. නමුත් අවාසනාව නම් තවමත් මෙම අර්බුදයේ සැබෑ තත්වය අප සමාජය අවබෝධ කරගෙන නැති වීමය.

මෙම අර්බුදය තවත් තීව්ර වන්නේ මෙරට මාධ්‍ය මගින් තව දුරටත් මෙරට තරුණ හා ළමා පරපුර කාබාසිනියා කර දැමීමයි. එදා අප නැරබු woody woodpecker වැනි කාටූන් අද දරුවන්ට නැත. ඒ වෙනුවට ඇත්තේ තවත් fantacy කාටූන් පෙළකි. ඒවාද සිංහල හඩ කවා ඇත. එදා අප අපහසුවෙන් හෝ ඉංග්‍රීසි කාටූන් නැරබීම තුළ,
ඉංග්‍රීසි භාෂාව උගත්තේය. අද දරුවන්ට එයද අහිමිය. එදා තිබූ ළමා වැඩසටහන් වෙනුවට කුඩා දරුවාගේ පටන් තරුණයා දක්වා සුපිරි තරු උම්මාදය සාදා ඇත. "දැනුමි වාසනාවයි" වැනි අප හට දැනුම ලබා දුන් වැඩසටහන් බොහොමයක් අද දරුවන්ට අහිමිය. එකල පාසල් නිවාඩු කාලයේ අධ්‍යාපන විකාශන තිබුණි. ඒවා තුලින් අප ඉගන ගත් දේ ඇති මහත්ය. නමුත් අද ඒ වෙනුවට ඇත්තේ චිත්‍රපටිය. සියල්ල පරයමින් අද ඉතාම කුඩා දරුවාගේ පවා ගීත බවට පත් වී ඇත්තේ "ඔටුව ඔටුව... ඔටුව පිට ඔටුව.. 138 මම හිටිය" වැනි, දරුවන්ගේ රසවින්දනය පාගා දමන ගීතයි. ඉතාමත් කේධනීය ලෙස මාධ්‍ය මගින්ද දරුවන් මානසික රෝගීන් බවට පත් කරමින් ඇත.

මෙම තත්වය ඉතාමත් ඉක්මනින් වෙනස් විය යුතුව ඇත. එසේ නැති වුවහොත් මානසික රෝගීන් පිරිසක් අනාගතයේ මේ රටේ ඉතුරු වනු ඇත.  දෙමාපියන් සතුව මෙහිලා ඇති විශාල කාර්යභාරයක් ඇතත්, කුමන හේතුවක් නිසා හෝ ඔවුන් මේ කාරණයේ බරපතල කම වටහාගෙන නැත. ශ්‍රී ලංකාව ආසියාවේ අස්චාර්ය බවට පත් කිරීමට පාරම්බාන බලධාරීන්වත් මෙම ප්‍රශ්නය අදුනාගෙන නැතිද, නැතිනම් තමන්ගේ දේශපාලන උපාය මාර්ග සපුරා ගැනීම සදහා මී හරක් රැලක් හදා ගැනීමේ උවමන්වෙන්, කැමැත්තෙන් අතහැර දමා ඇත්ද? බරපතල ගැටලුවකි. කාරණය කුමක් වුවත් විනාස වෙමින් පවතින්නේ අපගේ අනාගත පරපුරයි. Facebook  වල හිරවී, computer games වල දවස ගෙවමින්, KFC - Pizza කමින්, ඔටුව ඔටුව ... ඔටුව පිට ඔටුව කියමින් superstar ලා වීමට දරණ අනාගත පරපුරකින්, මේ රට ආසියාවේ අස්චාර්ය කරන්න වෑයම් කරන්නේ කෙසේදැයි විශාල ගැටලුවකි. මෙම විනාශය පිලිබදව පුළුල් සමාජ කතිකාවතක් ඇති විය යුතු කාලය දැනටමත් මග ඇරී ඇත. මේ ප්‍රමාදයේ පසු තැවිල්ල ඉතාම නුදුරු අනාගතයේදී මෙරට සමාජය අත් විදිනු ඇත.

මේ සදහා අපට කළ හැක්කේ කුමක්ද? ඉදිරි ලිපියකදී ඒ පිළිබද සාකච්චා කරමු...  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...