මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව, දකින දේ ගැන මට සිතෙන දේ ය - පැබ්ලෝ පිකාසෝ

Monday, August 15, 2011

අනේ අපේ අලි !

 
මේක කිව්වා ගමන් කට්ටිය හිතයි ද දන්නේ නෑ, මම මේ දවස ගානේ අඩු වෙන UNP එකේ චන්ද ගාන ගැන එහෙම කතා කරන්න හදනවා කියල. නෑ මම කතා කරන්න හිතුවේ කකුල් හතරේ අලි ගැන. කොටින්ම කිව්වොත්, ශරීරය විශාල වූ කරුමයට දුක් විදින අපේ අලි ටික ගැන. මේ ගැන කතා කරන්න මට හිතෙන්න ආසන්නම හේතුව තමයි පහු ගිය දවස් වල අලි ගැන අහන්න දකින්න ලැබුන ශෝකනීය කතන්දර. නවම් රාජා අවසන් ගමන් ගියා, මිල්ලන් ගොඩ ඇතත් අවසන් ගමන් ගියා, තුන්පත් රෑනක් ම මෑතකදී කෝච්චියට බිලි උනා, තවත් අලි ඝාතන සහ හදිසි අනතුරු ගැන අසන්නට ලැබුනා, රාජපාක්ෂික වීමේ වරදට පින්නවල ලසදගේ පැටියත් අවසන් හුස්ම හෙළුව කියල මාධ්‍ය වලින් කන වැටුන.. හ්ම්ම් ... කියල සුසුමලනවද, නැත්නං මොන හරි ලියනවද කියල හිතුනේ ඔන්න ඔය වෙලාවේ..

විහිළුවට හරි රාජ්‍ය මාධ්‍යකට ඔබේ ගුවන්විදුලිය හරි රුපවාහිනිය සුසර වුනොත්, ඔබ අහල දැකල ඇති මේ රටේ සිදුවන අසීමිත සංවර්ධනය ! නමුත් මේ සිදු වන "දේශපාලන" ව්‍යාපෘති වල තිත්ත ඇත්තනම් ඒවා තුල ජනතාව පමණක් නොව, පරිසරයටද, සතා සිවු පාවටද වන්දි ගෙවීමට සිදු වී ඇති වීමයි. සුරියවැව ක්‍රිකට් පිටිය දුටු විට සැමදෙනාම සතුටු වුනු සැටි ඔබටද මතක ඇති. ඒවායේ හොර මගඩි කුමක් වුවත් ක්‍රිකට් ගමට ගෙනයාම සුභ කටයුත්තකි. ඉතා ප්‍රීතියෙන් ශ්‍රී ලංකා - කැනඩා ක්‍රිකට් තරගය නරබන අතරතුර දුටු එක් දසුනක් මාගේ හදවත සසල කරවන්නක් විය. එනම් ක්‍රීඩා පිටිය අසබඩ වනරොදේ රැදී සිටි හස්තියාය. එය දුටු ඇතැමුන් ප්‍රීතියෙන් උද්දාමයට පත් විය. ඒ සංචාරක ව්‍යාපාරයට එය නියම ක්‍රියාවක් යයි පවසමිනි. නමුත් සත්‍යනම් අප ඔවුනගේ භූමිය සොරාගෙන ඇත. එපමණක් නොව මෙම ක්‍රීඩාංගනය ඉදි කොට ඇත්තේ අලිමන්කඩක් හරස්කොටය. අලියා යන මග කිසි දා වෙනස් නොකරන බව මා අසා ඇත. අලියන් ගම වැදීමද මෙහි අතරු ප්‍රතිපලයකි. මෙම ක්‍රීඩාංගනය ඉදි කිරීමට වෙනත් භූමියක් තිබ්බෙම නැද්ද යන්න ඉතාමත් සැක සහිතය. හම්බන්තොට යනු, අසීමිත ලෙස හිස් ඉඩම් ඇති ප්‍රදේශයකි. එසේ තිබියදීත් මෙම ව්‍යාපෘතිය කිරීමට පෙර මේ වැදගත් පාරිසරක සාධක සළකා නොබැලුවේ මන්ද? (මේ පිළිබද එදා කතා කල මා දේශද්‍රෝහියෙක් බවටද පත්විය) තවත් කරුණක් නම්, ලංකාවේ පැවැත්වීමට සිහින දකින පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන්ද අලි පන්න දැමීමේ ව්‍යාපෘතියක් සදහා මුදල් වෙන් කොට තිබීමය. අනේ අනිච්චේ දුක්කේ .. !

තවත් සෝචනීය කතා කීපයක් පසු ගීය දින වල අසන්නට ලැබිණ. එනම් දැයට කිරුළ පැවැත්වීමට යෝජිත භූමියෙන් අලි ඇතුන් පන්නා දැමීමයි. එයට විරෝධය දක්වූ වනජීවී අධ්‍යක්ෂක තම ධූරයෙන් ඉල්ලා අස්විය. මාධ්‍ය පැවසු ආකාරයටනම් ඔහුට එම තීරණය ගැනීමට බලපෑම් එල්ල විය. ඔහු එසේ එම කාර්ය කිරීමට ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුව වුයේ එවන් අවස්ථාවකදී අලි ඇතුන්ට වන හිරි හැර අපමණ නිසාය. ඇතැම් විට එහිදී යොදා ගන්නා උණ්ඩ නිසා අලි ඇතුන් අන්ධ වන අවස්ථාද ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදී. අවාසනාවට ඔහු ඉල්ලා අස් වූ අතර අලි ඇතුන් පන්නන project  එක ක්‍රියාත්මක වුවාද නැද්ද යන්න මෙතෙක් මධ්‍යයේ වාර්ථා නොවුණි. නමුත් මෙය කෙතරම් අමණ ක්‍රියාවක්ද? සූරිය වැව ක්‍රීඩාංගනය, අඩු ගණනේ රටේ ඉතුරු වන යම් කිසි දෙයකි. අඩු ගණනේ ඒ ගැන සිතාවත් හිත හදා ගත හැක. නමුත් මෙය? මිහි පිට නොමැති බොරු සංවර්ධනයක් මවා පෑමට උත්සහ ගන්නා ආණ්ඩුවේ තවත් එක් දේශපාලන මගඩියකි. එවන් පටු අරමුණක් වෙනුවෙන් අපගේ ජාතික වස්තු මෙසේ තලා පෙළීම කෙතරම් අමණ ක්‍රියාවක්ද? කෙසේනම් එට සාධාරණය කළ හැකිද? (ඇමතිවරු පිස්සු කෙලිද්දී, සක්‍රදෙවෙන්ද්‍රයා මෙන් පඩුපුල් ආසනය උණුවන අපේ ජනාධිපති තුමාටවත් මේ අවනඩුව නොපෙනෙන්නේ ඇයිද කියා සිත සිතා සිටියත්ලසදාගේ පැටවාගේ කතාවෙන් පසු එම සිතුවිල්ලද පහව යන ලදී.) 

මෙම කතා මෙසේ සිදුවෙද්දී ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් එක වරම ආරම්භ විය. මෙහි යටි අරමුණ වනගත අලි 300 පමණ හීල අලි බවට පත් කිරීමට යන උත්සහයක් බව පවසා පරිසර සංවිධාන ඉන් ඉවත් වී ඇත. ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගය මා අනුමත නොකළත්, නමුත් මෙම චෝදනාව සත්‍යක් නම් එම ක්‍රියාවද කිසිසේත්ම අනුමත නොකළ හැකි අමණ ක්‍රියාවකි. අපගේ පෙරහැර සංස්කෘතියට අලි ඇතුන් නැතිවම බැරි අංගයක් බව සැබෑය. ඉතිහාසයේ පවා අප රජවරුන්ගේ සේනා බල ගැන්වුයේ අලි ඇතුන්ය. තත්වය එසේ වුවත්, වනාන්තර වල වෙසෙන අලි ඇතුන් මෙසේ ගාල් කිරීමට යාමෙන් සිදුවන්නේ මොවුන්ගේ බෝවීමට වැට බැදීම නොවේද? පසුගිය දිනක ගංගාරාමයේ ලොකු හාමුදුරුවන් ඇතුළු සංගයා වහන්සේලා කීප නමක් එක්තරා නාලිකාවක පවසා සිටියේ පන්සල් වලට අලි ඇතුන් දීම ගැන විරුද්ධ වන්නේ මෝඩයන් බවය. අපගේ පෙරහැර සංස්කෘතිය රැකිය යුතු වුවත්, සතෙකුගේ අයතිවාසිකම් වනසමින් ගාල් කරගෙන සිටීම බුද්ධාගමට කෙතරම් අනුකුලද යන්න සැක සහිතය. ඒ සදහා ඉතා පහසුවෙන් වැඩ පිළිවෙලක් සැකසිය හැක. එනම් ඇත් අතුරු සෙවන, පින්නවල වැනි ස්ථාන වල මෙම අලි ඇතුන්ට වාසය කිරීමට ඉඩ දෙමින්, ඔවුන්ව පෙරහැර සදහා අවශ්‍ය අවස්ථා වලදී පමණක් භාවිත කල නොහැකිද? වසරකට වරක් පැමිණෙන පෙරහරක් වෙනුවෙන්, මෙවන් රටක් වටිනා සතුන් රැසක් ජීවිත කාලයකට ගාල් කර තිබීම කෙතරම් සාදරණද? මෙහි සත්‍යනම්, මෙම උත්සාහය යනු පෙරහැර සංස්කෘතිය නම් දවටනයේ දවටා, අලි ඇතුන් අත්පත් කරගන්නා පහත් මානසික ආශාව මුදුපත් කර ගැනීම පමණකි. මෙහි තවත් එක් කොටසක් ලෙස ඇමති ගෝලයන් විසින් සිදු කරන්න වූ අලි පැටව් ජාවාරමක්ද පසුගිය දින වල දේශද්‍රෝහී මාධ්‍ය විසින් හෙළි දරව් කරන ලදී. 
අලි මිනිස් ගැටුම යනු ජනප්‍රිය මාතෘකාවකි. සෑම තැනකදීම මෙන් මෙහිදීද අප සිදු කරගෙන ඇත්තේ විශාල අවුලකි. එනම්, අලි මිනිස් ගැටුමේ චුදිතයා බවට අලියා පත් කිරීමයි. වනාන්තර වැට අලි වැට ඉදි වන්නේද, විවිද ප්‍රදේශ වලින් අලි පන්න දමන්නේද, ගම වදින අලින් අල්ල වෙනත් තැන වලට ඇත හැර දමන්නේද, වෙනත් දේ සිදු කරන්නේද අලි මිනිස් ගැටුමේ චුදිතයා අලියා නිසාය. නමුත් සත්‍යනම්, ඔවුන්ගේ භුමිය අත්පත් කර ගෙන ඇත්තේ මිනිසා විසිනි. ඔවුනගේ අහාර වනසමින් කැලය එලි කොට ඔවුන් ගම් වද්දවන්නේ මිනිසාය. අලිමංකඩ වනසමින් ජනපද පිහිටුවන්නේ මිනිසාය. තත්වය එසේ වුවත් ප්‍රශ්නයේ චුදිතයා බවට පත්වන්නේ අලියාය. මෙම සත්‍ය අප වටහා ගන්න තුරු මෙම අලි මිනිස් ගැටුමට කෙසේනම් පිළිතුරු සොයන්නද? සෑම දෙයකටම වඩා චන්දය ලොකු වන දේශපාලුවන් සිටින රටක අලියා යනු මොන කජ්ජක් ද? කණගාටුවනම්, පාරමිතා පෙරහැරේ ගොස් අවිහින්සවාදයෙන් පරිසර අමත්යන්සය කල උතුමන්වත් මේ සත්‍ය නොදැකීමය.
කුමකින් කුමකින් හෝ අද සිදු වෙමින් ඇත්තේ, දිනෙන් දින අලි පරපුර විනාස වෙමින් පැවතීමය. හැකි ඉක්මනින් නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් අපගේ අනාගත පරපුර අලි දකින්නේ discovery නාලිකාවෙන් පමණකි. අලි පරපුර රැක ගැනීමට අප ක්‍රියාත්මක විය යුතු කාළය එලබ ඇත. හැබැයි මෙම කතාව විහිලුවට හරි අපගේ වෙළද ඇමති තුමාට ඇහුනොත්... "බය වෙන්න දෙයක් නෑ.. ජනතාවට වග කියන ආණ්ඩුවක් විදියට අපි වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්දියාවෙන් අලි 1000 ක් ආනයනය කරනවා" වගේ කතාවක් කියන්නට බැරි කමක්ද  නැත.

5 comments:

  1. Heard another sad story yesterday, where they illegally transported a baby elephant to Uduwe Dammaloka's asapuwa.. why these Buddhist monks don't see this as a sin ?

    ReplyDelete
  2. අලියා කියන්නේ මිනිසාගේ සදාකාලික වෛරක්කාරයෙක් අද වෙද්දි. ඒත් ඇත්ත වශයෙන්ම අලින්ගෙන් වුණත් විපතට පත්‍ වෙන්නෙ අසරණයින් තමයි. අලියට ඒක තේරෙන්නෙ නෑ. මේ දෙගොල්ලම විනාශ කරන්නෙ කාලකණ්නි දේශපාලකයො.
    අපි අලි ගැන කතා කරන්නෙ උන් ලොකු නිසයි. ඒත් මේ කරන විනාශයෙන් තවත් පුංචි සත්තු කොයිතරම් විනාශයට පත්වෙලාද?
    මම ඉන්න කිට්ටුව තිබ්බ පොඩි කැළෑවක් අක්කර ගාණක. ඒක ඇසට රසඳුනක් වගේම නාගරික වූ පෙදෙසක සත්තුන්ට නිවහනක් වුණා. කුරුල්ලො ගොඩක් හිටිය. ඉත්තෑවො, නරි, වදුරො, මුගටි වගේ සත්තුත් හිටිය. මේ පහුගිය කාලෙ ඒක ‍ඩෝසර් කලේ ආණ්ඩුවේ ගොඩනැගිලි සංකීර්ණයක් නැවත ස්ථාපිත කරන්න. ඒත් මේ සංවර්ධනයේ පවතින් විනාශය දකින්න තරම් මේ දේශපාලක සහ නිළධාරි පැළැන්තිය අසංවේදී වෙලා. ඔවුන්ට පෙනෙන්නෙ මුදල් නෝට්ටුවල හැඩය පමණයි.

    ReplyDelete
  3. @Outsider : කතාව සම්පූර්ණ ඇත්ත. අලියා විනාස වෙනවා අපිට ඇස්පනා පිට පෙන්නේ ඌ විශාල සතෙක් නිසා. එත් මේ අව්දිදිමත් ව්‍යාපෘති නිසා තවත් සත්ව කොට්ටාශ කොච්චරනං විනාස වෙනවද. මම හැදුනේ වැදුනේ කොලබට ඉතාම නුදුරු පන්නිපිටිය ප්‍රදේශයේ. මීට අවරුදු 20 කට විතර කලින් ඒ පැත්තේ කැලේ ඉඩන් වල නරි පවා හිටිය. අද කනාමදිරියෙක්වත් දකින්න නෑ. ඒ විතරක් නෙමෙයි, අද බෝවිටිය, ගඳ පාන වගේ ගස් මල් ප්‍රදර්ශන වල මල් පෝච්චි වලට ඇවිල්ල. මේ දේවල් මේ රටෙන් තුරන් වෙලා යන්න වැඩි කාලයක් යන්නේ නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...